ත්‍රෛනිකායික මහා සංඝරත්නය පෙරටු කරගනිමින් පිහිටුවන ලද බුද්ධශාසන සභාවේ දෙවැනි රැස්වීම මහා විහාරවංශික ස්‍යමොපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයේ ප්‍රධාන ලේඛකාධිකාරී, ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල නායක ස්වාමීන්ද්‍රයන්වහන්සේගේ මූලිකත්වයෙන් සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී අද (09) පස්වරුවේ රැස්විණි.
බුද්ධශාසන සභාවේ ගරු ලේකම් ධුරය දරන ලද්දේ අමරපුර මහා නිකායේ මහා ලේඛකාධිකාරි පූජ්‍යපාද බලපිටියේ සිරි සීවලී නා හිමිපාණන්වහන්සේ විසිනි.
අප රට මුහුණ දුන්නු ජාතික ස්වභාවික ව්‍යසනය නිසා අනතුරට පත් වූ සහ බලපෑමට ලක් වූ බෞද්ධ විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථාන පිළිබඳ මෙහිදී ප්‍රමුඛ ලෙස අවධානය යොමු කරන ලදි.
රජය විසින් සමස්තයක් ලෙස ලබා දෙන අපදා හානි වන්දිය මුදලට අමතරව බුද්ධශාසන අරමුදල සහ දානපතියන්ගේ මැදිහත්වීමෙන් අරමුදල් සපයා ගනිමින් විහාරස්ථාන වෙත තවදුරටත් සහන සැලසීම පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර වැඩමකොට සිටි සියලු ස්වාමීන්වහන්සේලාගේ ප්‍රසාදය ඒ සඳහා හිමිවිය.
එමෙන්ම ජාතික වෙසක් උත්සවය වඩාත් ඵලදායී සහ උත්කර්ෂවත් ලෙස පැවැත්වීමටත් මින් පෙර වසරවල දී ඒ සඳහා වැය වූ පරිපාලන වියදම් අවම කර එම මුදල් විහාරස්ථානවල සංවර්ධන කටයුතු සඳහා යෙදවීම සඳහාත් තීරණය කෙරිණි.
දහම් පාසල් අධ්‍යාපනයේ තරගකාරීත්වය අවම කිරීමත් දහම් පාසල් ‘සිසු නිපුණතා‘ තරගාවලිය නැවත සමාලෝචනය කිරීමත් පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
බුදු සසුනට එල්ලවන අභියෝගවලට විසඳුම් සෙවීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ විධිමත්ම සාකච්ඡා කෙරුණු මෙම අවස්ථාව සඳහා සියම්,අමරපුර සහ රාමඤ්ඤ යන නිකායත්‍රයට අයත් පාර්ශව 31 නියෝජනය කරන මහා ලේඛකාධිකාරී ස්වාමීන්වහන්සේලා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් පත්කරන ස්වාමින්වහන්සේලා සිව් නමක් සහ ගිහි නියෝජිතයෙකු දඅමාත්‍යාංශ නිලධාරීහු ද එක්ව සිටියහ.

