පවතින ආපදා තත්ත්වය හේතුවෙන් 2025 දෙසැම්බර් 1 වැනි දින සිට ගමනාගමනය අත්හිටුවා වසාදමා ඇති මාර්ගවල ලැයිස්තුවක් මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) නිකුත් කර ඇත.

අධික වර්ෂාවෙන් මාර්ග රැසක් ජලයෙන් යට වී නායයාම් අවදානම් සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල්   කේ.ඩබ්.කණ්ඩම්බි විසින් නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

ගංවතුර, නායයෑම්, ගල් පෙරළීම් සහ රටේ විවිධ ප්‍රදේශවලට බලපාන අනෙකුත් ආපදා ආශ්‍රිත අනතුරු හේතුවෙන් මෙම මාර්ග වසාදමා තිබෙන බවද ඒ මහතා කීය.

එම ලැයිස්තුවට අනුව නැගෙනහිර පළාතේ මාර්ග කොටස් 8 ක්, මධ්‍යම පළාතේ 15 ක්, ඌව පළාතේ 11 ක්, උතුරු මැද පළාතේ 05 ක්, සබරගමුව පළාතේ 10 ක්, වයඹ පළාතේ 10 ක්, උතුරු පළාතේ 12 ක් සහ උතුරු පළාතේ මාර්ග 38 ක් වසාදමා ඇති බවද ඒ මහතා පැවසීය.

ආපදා තත්ත්වය හමුවේ මෙව්න විට රටපුරා මාර්ග 108 කට අධික ප්‍රමානයක නායයාම් සහ අවදානම් තත්ත්වයන් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියෙන් නිවේදනයක් නිකුත් කරමින්  ප්‍රකාශ කර තිබේ.

අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ පළාත් කිහිපයක මාර්ග රැසක් ජලයෙන් යටවීම සහ නායයාම් අවදානම් තත්ත්වයන් වාර්තා වී තිබේ. මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කළ වාර්තාවකට අනුව, නැගෙනහිර, මධ්‍යම, ඌව, උතුරු මැද, සබරගමුව, වයඹ, උතුරු සහ බස්නාහිර පළාත්වල මාර්ග කොටස් 108කට අධික සංඛ්‍යාවක් ගමනාගමනයට බාධා වී ඇත.

මඩකලපුව – තිරුක්ක්කොණ්ඩ්යමඩු – ත්‍රිකුණාමලය, පේරාදෙණිය – බදුල්ල – චෙන්කලඩි, කොළඹ – නුවර, සහ මැදවච්චිය – මන්නාරම වැනි ප්‍රධාන මාර්ග ගණනාවක කොටස් ජලයෙන් යට වී ඇති අතර, මධ්‍යම, ඌව, සබරගමුව, සහ බස්නාහිර පළාත්වල මාර්ග කිහිපයක නායයාම් සහ නායයාම් අවදානම් තත්ත්වයන් ද පවතී.

මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් කියා සිටින්නේ, ඇතැම් ස්ථානවල පාලම් පිවිසුම් සෝදා යාම සහ පාලම් ගිලා බැසීම් ද සිදුව ඇති බවයි. ගමන් බිමන් යන මහජනතාවට දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසත්, අවශ්‍ය නම් විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය ඉල්ලා සිටී .

Share.
Leave A Reply