1. ගුවන් අනතුරකින් ගුවන් හමුදා නිලධාරියකු මියයාම – වෙන්නප්පුව පොලිස් වසම.

සිද්ධිය: 2025.11.30 වන දින සවස වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේ ජල ගැලීම් හේතුවෙන් විපතට පත්ව සිටි මහජනතාවට ආහාරපාන ලබාදීමට පැමිණි ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් සිටි හෙලිකොප්ටර් යානයක් ගිං ගඟට කඩා වැටීමෙන් අනතුරක් සිදුව ඇත.

විපතට පත්වූවන්: හෙලිකොප්ටර් යානයේ සිටි ගුවන් හමුදා නිලධාරීන් පස් දෙනෙකු මුදවාගෙන මාරවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ගුවන් නියමුවරයා මියගොස් ඇත.

මියගිය අය පිළිබඳ තොරතුරු: වයස අවුරුදු 41ක් වූ, යටිගම්මන ප්‍රදේශයේ පදිංචි ගුවන් හමුදා වින් කමාන්ඩර්වරයෙකි.

වත්මන් තත්ත්වය: මෘත ශරීරය මාරවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. සෙසු නිලධාරින් හදිසි ප්‍රතිකාර වලින් පසු රෝහලින් බැහැරව ගොස් ඇත. මාරවිල පොලිසිය සහ ගුවන් හමුදාව වැඩිදුර විමර්ශන සිදු කරයි.

2. මනුෂ්‍ය ඝාතනයක් – කෝපායි පොලිස් වසම.

සිද්ධිය: 2025.11.30 වන දින උදෑසන කෝපායි පොලිස් වසමේ තිරුණවේලි හන්දිය ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු යාපනය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මියගිය අය පිළිබඳ තොරතුරු: වයස අවුරුදු 30ක් වූ, කොකුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය පිළිබඳ විස්තර: මරණකරු තවත් පුද්ගලයෙකු සමඟ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී තිරුණවේලි හන්දිය ප්‍රදේශයේදී තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මාර්ගය හරස් කර තියුණු ආයුධ වලින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

වත්මන් තත්ත්වය: අපරාධය සිදු කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කෝපායි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

3. මනුෂ්‍ය ඝාතනයක් – වෙල්ලාවලි පොලිස් වසම.

සිද්ධිය: 2025.11.29 වන දින රාත්‍රී කාලයේ වෙල්ලාවලි පොලිස් වසමේ කන්නපුරම් ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් වෙල්ලාවලි පොලිස් ස්ථානයට මගින් විමර්ශන ආරම්භ කර තිබුණි.

අත්අඩංගුවට ගැනීම: විමර්ශන නිලධාරීන් විසින් අපරාධයට සම්බන්ධ සැකකරු 2025.11.30 වන දින දහවල් කාලයේදී වෙල්ලාවලි පොලිස් වසමේ කන්නපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු පිළිබඳ තොරතුරු: වයස අවුරුදු 21ක් වන, කන්නපුරම් බටහිර, බක්කිඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වත්මන් තත්ත්වය: වෙල්ලාවලි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

4. දිය අනතුරකින් විදෙස් ජාතික කාන්තාවක් බේරා ගැනීම – පොලිස් ජීවිතාරක්ෂක කොට්ඨාසය හික්කඩුව.

සිද්ධිය: 2025.11.30 වන දින උදෑසන හික්කඩුව, පනන්ගොඩ වෙරළ තීරයේ දියනෑමට ගිය විදෙස් ජාතික කාන්තාවක් දිය වැලකට හසුවී මුහුදට ගසාගෙන යමින් සිටියදී වෙරළ තීරයේ රාජකාරී යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක ඒකකයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂක සිරිමල්, පොලිස් කොස්තාපල් 94998 හේමකුමාර හා පොලිස් කොස්තාපල් 96221 දුමින්ද, පොලිස් කොස්තාපල් 102748 දිසානායක යන නිලධාරීන් විසින් එම කාන්තාව බේරාගෙන මූලික ප්‍රථමාධාර ලබා දී ඇත.

විපතට පත්වූ කාන්තාව පිළිබඳ තොරතුරු: වයස අවුරුදු 58ක් වූ පෝලන්ත ජාතික කාන්තාවකි.

5. බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ සැකකරුවකු අත්අඩංගුවට – බගවන්තලාව පොලිස් ස්ථානය.

සිද්ධිය: 2025.11.30 වන දින සවස බගවන්තලාව පොලිස් වසමේ කොටියාගලවත්ත ප්‍රදේශයේදී බගවන්තලාව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු පිළිබඳ තොරතුරු: වයස අවුරුදු 38ක් වන, බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වත්මන් තත්ත්වය: බගවන්තලාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

6. මාරක රිය අනතුරක් – දික්වැල්ල පොලිස් වසම.

සිද්ධිය: 2025.11.30 වන දින සවස දික්වැල්ල පොලිස් වසමේ දික්වැල්ල රත්මලේ මාර්ගයේ කිරිනැලිය ප්‍රදේශයේදී රත්මලේ දෙසට ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී රියදුරු එම රථයට යටවී අනතුරක් සිදුව ඇත.

විපතට පත්වූවන්: අනතුරින් බරපතල තුවාල ලැබූ රියදුරු තංගල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මියගිය අය පිළිබඳ තොරතුරු: වයස අවුරුදු 72ක් වූ කෝට්ටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වත්මන් තත්ත්වය: මෘත ශරීරය මාතර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අනතුරට සම්බන්ධ යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර දික්වැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

7. මාරක රිය අනතුරක් – අරලගංවිල පොලිස් වසම.

සිද්ධිය: 2025.11.30 වන දින සවස අරලගංවිල පොලිස් වසමේ ගල්තලාව යාය 05 මාර්ගයේ, යාය 05 දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය හරහා වැටී තිබූ ගසක් කපා ඉවත් කිරීමෙන් පසු ඉතිරි වූ දැව කඳක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

විපතට පත්වූවන්: අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු අරලගංවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇත.

මියගිය අය පිළිබඳ තොරතුරු: වයස අවුරුදු 46ක් වූ අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වත්මන් තත්ත්වය: මෘත ශරීරය අරලගංවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අරලගංවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

8. මාරක රිය අනතුරක් – මහරගම පොලිස් වසම.

සිද්ධිය: 2025.11.30 වන දින සවස මහරගම පොලිස් වසමේ හයිලෙවල් මාර්ගයේ නාවින්න හන්දිය ප්‍රදේශයේදී හයිලෙවල් මාර්ගයේ සිට වත්තේගෙදර දෙසට ධාවනය වූ යතුරු පැදි දෙකක් එකිනෙක ගැටී මාර්ගයේ පෙරළීගොස් එක් පැදිකරුවෙකු දුරකථන රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව ඇත.

විපතට පත්වූවන්: අනතුරින් තුවාල ලැබූ පැදිකරුවන් දෙදෙනා කලුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව එක් පැදිකරුවෙකු මියගොස් ඇත.

මියගිය අය පිළිබඳ තොරතුරු: වයස අවුරුදු 18ක් වූ තලපත්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වත්මන් තත්ත්වය: මෘත ශරීරය කලුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මහරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share.
Leave A Reply