කෘත්‍රීම බුද්ධිය සෞඛ්‍ය පර්යේෂණවලට යොදා ගන්නා බව  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

කොළඹ දී ඊයේ (26) පැවැති ජාතික සෞඛ්‍ය පර්යේෂණ සම්මන්ත්‍රණය අමතමින් ඇමති වරයා එසේ පැවසීය.

මෙවර සම්මන්ත්‍රණයේ තේමාව වූයේ කෘත්‍රීම බුද්ධි යුගයේ සෞඛ්‍ය පර්යේෂණ දියුණු කිරීම යන්නයි.

අමාත්‍ය ජයතිස්ස මහතා මෙහිදී කීවේ කෘත්‍රීම බුද්ධි (AI) තාක්ෂණය සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ පර්යේෂණ කටයුතු සඳහා දැනුම, කුසලතා සහ ආචාර ධර්මය ගුණාත්මක ලෙස ඉහළ නැංවීමට හැකියාවක් ඇති බවයි.

AI තාක්ෂණය  වසංගත විද්‍යාව, රසායන විද්‍යාව, සේවා සැපයුම් ක්ෂේත්‍ර, සහ සෞඛ්‍ය පද්ධති සංවර්ධනය සඳහා දැනටමත් ශ්‍රී ලාංකේය පර්යේෂකයන් විසින් සාර්ථක ලෙස යොදාගෙන ඇති බවත්, එය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

AI තාක්ෂණය  මඟින් රෝග විනිශ්චය, දත්ත විශ්ලේෂණය, නව සෞඛ්‍ය ප්‍රවාහයන් හඳුනා ගැනීම, සහ මහජන සෞඛ්‍ය ගැටලු සඳහා නව විසඳුම් සෙවීම වැඩි කාර්යක්ෂමභාවයකින් සිදුවන බවද ඔහු සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය කාර්‍යාංශ තුන වන නිරවද්‍යත්වය, කාර්යක්ෂමතාව, සාධාරණතාව යන අංශ AI මඟින් ශක්තිමත් කළ හැකි බවත් අමාත්‍යවරයා කියා සිටියේ ය.

පර්යේෂණවල නිරවද්‍යතාව සහ විශ්වාසනීයතා ඉහළ නැංවීමට AI උපකාරී බවත් නව සෞඛ්‍ය අභියෝගයන්ට කඩිනමින් ප්‍රතිචාර දක්වනුයන පද්ධතියක් ගොඩනැගීමටත් ඉඩ සලසන බව ද ඒ මහතා කීය.

මෙය සිදු කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාව, විශ්වවිද්‍යාල, තාක්ෂණික ආයතන, සහ ජාත්‍යන්තර හවුල්කරුවන් අතර සෘජු සහයෝගීතාවයක් අවශ්‍ය බවත් ඔහු අවධාරණය කළේ ය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් මොහොමඩ් නවාවි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ,සහ පර්යේෂණ නිලධාරින්  ඇතුළු පුද්ගලයින් රැසක් සහභාගී වූහ.

Share.
Leave A Reply