1990 සුව සැරිය සේවයට නව සේවාවක් එක් කරමින් සුව යතුරු පැදි  සේවයක් දියත් කිරීමට පියවර ගන්නා බව සුව සැරිය පදනමේ සභාපති මේජර් (විශ්‍රාමික) නිරෝෂන් රත්නායක මහතා පවසයි.

මේ යටතේ ගිලන් රථයක් පැමිණීමට කාලය ගත වන අවස්ථාවල දී යතුරු පැදි මගින් හදිසි ප්‍රතිචාර නිලධාරීන් යැවීමේ නව ක්‍රමවේදයක්ද සකස් කර ඇති බවත් එය සුව සැරිය වැඩසටහනට වසර 10 ක් පිරිම නිමිත්තෙන් සිදු කරන නවතම සහන සේවයක් බව ද ඒ මහතා පැවසීය.

ජීවිතයක් සුරැකීම අරමුණින් ආරම්භ වූ 1990 සුව සැරිය සේවාව අද වන විට රජය විසින් පවත්වා ගෙන යන ජාතික හදිසි ගිලන් රථ සේවාවක් ලෙස ක්‍රියාත්මක කෙරෙන බව ද හෙතෙම කීය.

1990 සුව සැරිය පදනමේ හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන්ගේ කුසලතා වර්ධනය විශේෂ පුහුණු වැඩසටහනක් මේ දිනවල පැවැත්වෙන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වන  බව ද ඒ මහතා කීය.  

බකිංහැම්ෂයර් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විල් බ්‍රෝටන් මහතාගේ ප්‍රධානත්වයෙන් පරිපූරක වෛද්‍ය විද්‍යාවේ විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හා විද්වත් කණ්ඩායම විසින් මෙම පුහුණු ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය.

සුව සැරිය ගිලන් රථ බල ඇණිය 500ක් දක්වා ඉහළ නැංවීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් ඉන්දීය රජයෙන් ගිලන් රථ 100ක්, ආසියානු සංවර්ධන බැංකුවෙන් 20ක් සහ තවත් 25ක් ප්‍රදානයක් ලෙස ලබා ගැනීමට ද කටයුතු සිදු වෙමින් පවතින බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය.

Share.
Leave A Reply