මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනයකට ලක් කිරීමට මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.  

එම තීරණය ගෙන ඇත්තේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති  සාකච්ජාවක දීය.

මෙහිදී 2026 සිට 2035 දක්වා කාලය සඳහා නියමිත ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව නිදහස් සෞඛ්‍ය සේවාව ඩිජිටල් පරිවර්තනය කිරීමේ හැකියාව, ඒ සඳහා අනුගමනය කළ යුතු කෙටි කාලීන සහ දිගුකාලීන ක්‍රමවේදයන් පිළිබඳව පුළුල් සාකච්ඡාවක් සිදු විය.

ඒ සමඟ ඩිජිටල්කරණය සඳහා උපායමාර්ගික රාමුවක් පිහිටුවීම, සෞඛ්‍ය ආරක්ෂණ යටිතල පහසුකම් ඩිජිටල් මාධ්‍ය හරහා වැඩිදියුණු කිරීම, සහ ජාත්‍යන්තර සහාය සමඟ HIQI, HSEP, PHSEP වැනි ප්‍රධාන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳවද අවධානය යොමුවිය.

දත්ත සුරක්ෂිතව ගබඩා කිරීම මානව සම්පත් සංවර්ධනය හා පුහුණු වැඩසටහන් පිළිබඳ ද අවධාරණය කෙරිණි.

ඉහත කරුණු සඳහා අදාළ කෙටුම්පත් සංකල්ප පත්‍රිකාව ඉදිරිපත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා විසින් සිදු කෙරිණි.

මෙම සාකච්ඡාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, ඩිජිටල් අර්ථීක නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (ඩිජිටල් ආර්ථිකය) ආචාර්ය හාන්ස් විජේසුරිය, අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් අධ්‍යක්ෂවරුන් සහ විෂය භාර විශේෂඥයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Share.
Leave A Reply