ලාදුරු රෝගය මෙරටින් තුරන් කර දැමීමේ ගමනේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් ජාතික ලාදුරු සමුළුව  කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ඊයේ (06) පෙරවරුවේ ආරම්භ කෙරුණු අතර එහි සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද  එක්ව සිටියේ ය.

ඉදිරි වසර 10 තුළ ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය තුරන් කිරීම සඳහා වන මාර්ග සිතියම එළිදැක්වීම මෙහි දී සිදු විය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ  මූලිකත්වයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ සසකාවා පදනමේ සහයෝගීතා දායකත්වයෙන්  සංවිධානය කර තිබෙන ජාතික ලාදුරු සමුළුව ඊයේ  (06) සහ අද (07) දෙදින කොළඹදී පැවැත් වේ.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ ද පැවසීය.

1995 වසරේ දී ශ්‍රී ලංකාව මහජන සෞඛ්‍යයට තර්ජනයක් නොවන අයුරින් ලාදුරු රෝගය තුරන් කර දැමුව ද, එම ගමන තවමත් අවසන් වී නොමැති අතර නව රෝගීන් අඛණ්ඩව හමු වෙමින් පවතින බව ද ඒ මහතා කීය.   

ඒ අනුව වසරකට ලාදුරු රෝගීන් 1500 – 2000ක් පමණ අලුතින් හඳුනා ගැනෙන බවත් ඔවුන්ගෙන් සියයට 10 ක් පමණ වයස අවුරුදු 10ට අඩු කුඩා දරුවන් බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඒ අනුව වසර 2035 වන විට ශ්‍රී ලංකාව ලාදුරුවලින් තොර රටක් බවට පත් කිරීමට වත්මන් රජය සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බවත්  රෝගය පැතිර යාමට හේතු වන රෝගින් කල්තියා හඳුනා ගැනීම රෝහල් පද්ධතිය මගින් රෝගින්ට ලබා දෙන ප්‍රතිකාර සහ පහසුකම් වැඩිදියුණු කිරිම ආබාධිත තත්ත්වයට පත් වූවන් වෙනුවෙන් විධිමත් පුනරුත්ථාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ආදිය සිදු කෙරෙන බවත් මෙම සමුළුව මගින් ලාදුරු රෝගය පැතිර යාමට තිත තැබීමේ ප්‍රයත්නය තවදුරටත් ශක්තිමත් වනු ඇති බව ද ඒ මහතා කීය.

අලුතෙන් හඳුනා ගන්නා ලාදුරු රෝගීන්ගෙන් සියයට 40 ක් පමණ වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවත්, වැඩිම ලාදුරු රෝගින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, පිළිවෙළින්, මඩකලපුව, ගම්පහ, කුරුණෑගල සහ කළුතර දිස්ත්‍රික්කවලින්ද රෝගීන් සැලකිය යුතු ප්‍රමාණවලින් වාර්තා වන බවත් මෙහිදී අනාවරණය කෙරිණි.

නිපොන් පදනමේ සභාපති, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලාදුරු රෝගය තුරන් කිරීම පිළිබඳ කීර්තිනාම තානාපති, ලාදුරු රෝගයට ගොදුරුවූවන්ගේ මානව හිමිකම් පිළිබඳ ජපාන රජයේ කීර්තිනාම තානාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කළ අතර, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය යසෝමා වීරසේකර මහත්මියද අදහස් දැක්වීය.

සමස්ත ලාදුරු රෝගීන් නියෝජනය කරමින් අජිත් දිසානායක මහතා ද මෙහිදී සිය අදහස් ඉදිරිපත් කළේ ය.

කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි, ජපාන තානාපති අකියෝ ඉසොමාටා (Akio ISOMATA), ලෝක සෞඛ්‍ය සංවිධානයේ දේශීය කාර්යාලයේ ස්ථානභාර මොමෝ තකයුචි (Momoe Takeuchi), ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය ලාදුරු වැඩසටහනේ කණ්ඩායම් නායක වෛද්‍ය විවේක් ලාල් යන මහත්ම මහත්මීහු ඇතුළු ලෝක සෞඛ්‍ය සංවිධානයේ දේශීය නියෝජිතයෝ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් මීට එක්ව සිටියහ.

Share.
Leave A Reply