මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අත්හිටවූ බවට ආණ්ඩුව ප්‍රකාශ කළද, එය සත්‍ය නොවන “සුරංගනා කතාවක්” බව ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ මහතා පවසයි.

සුරංගනා කතා කියලා ආණ්ඩුව මන්නාරම සුළං විදුලි බලාගාර ඉදිකිරීමේ බොරුව මේ රටේ ජනතාව තේරුම් ගත යුතු බව  ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ මහතා පැවසීය.

මෙම ව්‍යාපෘතිය සම්පුර්නයෙන්ම හකුලා ගන්නා තුරු අප ජනතා අරගලය ඉදිරියට රැගෙන යන බව ද ඒ මහතා කීය.

මන්නාරම සුළං විදුලි බලාගාර ඉදිකිරීම අත්හිටවූ බවට කැබිනට් මණ්ඩලය කළ ප්‍රකාශය සහ එහි සැබෑව අනාවරණය කිරීම සඳහා ඊයේ ( 06)  දින ජන අරගල ව්‍යාපාරය නුගේගොඩ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවන ලදී.

එහි දී අදහස් දැක්වූ ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ මහතා මෙසේ ද පැවසීය.

මන්නාරම සුළංවිදුලි බලාගාර ව්‍යාපෘතිය තවදුරටත් ක්‍රියාත්මක කරන්නෙ නෑ එම ව්‍යාපෘතිය නවත්වනවා කියලා ආණ්ඩුව කැබිනට් තීරණයක් ප්‍රකාශ කරලා තියනවා. එක පැත්තකින් ආණ්ඩුවට පිළිගන්න වෙලා තියනවා. අපි කියපු විදිහටම මේ ව්‍යාපෘතිය හරහා ජනතාවට විශාල පීඩාවක් සහ පරිසර පද්ධතියට බරපතළ හානියක් වෙනවා කියලා. ඒ නිසා තමයි ආණ්ඩුවට මේ තරමින් හරි මේ ව්‍යාපෘතිය නවත්වනවා කියලා කියන්න වෙලා තියෙන්නේ.

නමුත් මෙතන තියන ප්‍රශ්නය තමයි ආණ්ඩුව දැන් සූදානම් වෙන්නේ වචන හරඹයක් කරලා ජනතාව රවට්ටන්න. මොකද ආණ්ඩුව කියලා තියෙන්නේ ජනතාවගේ සහ පාරිසරික ගැටළු මූලික කරගෙන තවදුරටත් මන්නාරමේ නව ව්‍යාපෘති පටන් ගන්නේ නෑ කියලා.

එතකොට මේ කියන වචන අස්සෙම තියනවා දැනට කරගෙන යන බලාගාර ව්‍යාපෘති ඒ විදිහටම ක්‍රියාත්මක කරනවා කියන එක. ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශ කවරයා මේ ගැන කොළඹ දී මාධ්‍යට ප්‍රකාශ කරන වෙලාවෙම අන්න මන්නාරමට ගිහිල්ලා බලශක්ති අමාත්‍යාංශය ජනතාවට කියනවා දැනට ගහන්න ඉන්න ටර්බයින් 14 ගහනවා. එතනින් එහාට ව්‍යාපෘති කරන්නේ නෑ කියලා.

මේ ටර්බයින් 14 ගහන එකට විරුද්ධව තමයි ජනතාව මෙච්චර ආණ්ඩුව එක්ක පොර බදන්නේ. මේ ටර්බයින් 14 නිසා තමයි මන්නාරම පක්ෂි සිටින  කලාපය විනාශ වෙන්නේ. මේ ව්‍යාපෘතිය නිසා තමයි මන්නාරම් දූපතට හානි වෙන්නේ. ඒ නිසා අනේ අපිට මේ ටික කරගන්න දෙන්න මෙතනින් එහාට අපි මුකුත් කරන්නෑ වගේ සුරංගනා කතා කියලා ආණ්ඩුව මේ කරන්න යන බොරුව මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕන.

අපි මන්නාරමේ ජනතාව එක්ක මේ අරගලය කරනකොට ඒකට විරුද්ධව ආණ්ඩුව පැත්තෙන විවිධ දේවල් කළා. අපි දැක්කා සමහරු කියනවා මේ අරගලය සාධාරණ නැහැ කියලා. හැබැයි දැන් ඒ අයටම පිළිගන්න වෙලා තියනවා මේ ව්‍යාපෘතියේ බරපතළ ප්‍රශ්නයක් තියනවා කියලා. ඒක එක පැත්තකින් ජනතාව ලබපු ජයග්‍රහණයක්. හැබැයි ඒ ජයග්‍රහණය පාවිච්චි කරලා ආණ්ඩුව උත්සහ කරන්නේ තමන්ගේ වැඩේ කරගන්න. එහෙම නූල් සූත්තර දාන්න අපි ඉඩ තියන්නේ නෑ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා වහාම මන්නාරම් සුළංවිදුලි බලාගාර ව්‍යාපෘතිය මුළුමන්ම හකුළගත යුතුයි. මොකද මන්නාරම කියන්නේ සංවේදී පරිසර කලාපයක්. අනිත් එක ඒ ප්‍රදේශයේ ජීවත්වෙන දහස් ගාණක් ජනතාවගේ ජන ජීවිතයට හානි කරලා කරන සංවර්ධනයකින් රටට වැඩක් නෑ. ඒ නිසා මේ ව්‍යාපෘතිය මුළුමනින්ම හකුළගන්න කල් අපි ජන අරගල ව්‍යාපාරය විදිහට දිගින් දිගටම මන්නාරම් ජනතාව සමග  එක්තු වෙලා අරගල කරන්න සූදානම්.

Share.
Leave A Reply