රූපලාවණ්‍ය නිෂ්පාදන පරීක්ෂණ රසායනාගාරයක් — කර්මාන්ත අමාත්‍යාංශ මැදිහත්වීමෙන්!

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය (IDB) සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන, අණුක ජෛව රසායන හා ජීව විද්‍යා තාක්ෂණ ආයතනය (IBMBB) මූලිකත්වයෙන්, රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා වූ Human Repeat Insult Patch Test (HRIPT) පරීක්ෂණ රසායනාගාරය ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම අද (30) කොළඹ විශ්වවිද්‍යාලයේ දී සිදු විය.

මෙම උත්සවය කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

රසායනාගාර ඉදිකිරීම සඳහා වියදම් රුපියල් මිලියන 27.383ක් ලෙස නියමිත වන අතර, එයින් රුපියල් මිලියන 24.383ක් කර්මාන්ත අමාත්‍යාංශයද, රුපියල් මිලියන 3ක් IBMBB ආයතනයද දරනු ඇත. වැඩසටහන 2027 අවසානයට පෙර නිමවනු ඇත.

අමාත්‍ය හඳුන්නෙත්ති මහතා මෙහිදී පැවසීය —

“ශ්‍රී ලංකාව තුළ මේ වන තෙක් HRIPT පරීක්ෂණාගාරයක් නොමැති බැවින් රූපලාවණ්‍ය නිෂ්පාදකයින් හා අපනයනකරුවන්ට විදෙශ් රටවල් හරහා පරීක්ෂණ සහතික ලබා ගැනීමට සිදුවෙයි. එම නිසා ඉහළ වියදම් සහ දුෂ්කරතා මගහැරීමට මෙය විශාල පිළියමක් වේ. අනාගතයේදී තාක්ෂණික උපකරණ සහ පහසුකම් වැඩිදියුණු කිරීමටත් අමාත්‍යාංශය මැදිහත් වනු ඇත.”

මෙම අවස්ථාවට කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඉන්දික මහේෂ් කරුණාතිලක මහතා, IBMBB ආයතනයේ අධ්‍යක්ෂක මහාචාර්ය බී. පී. ගල්හේන මහතා සහ විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය, කර්මාන්ත අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු බොහෝ දෙනා සහභාගී වූහ.

Share.
Leave A Reply