නිසි පරිදි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා පරිද්දක් තුළ එච්‌අයිවී ආසාදිත පුද්ගලයන්ට සෞඛ්‍ය සම්පූර්ණ ජීවිතයක් ගත කළ හැකි අතර, සාමාන්‍ය පවුල් ජීවිතයක්ද ගත කිරීමේ හැකියාව පවතින බව එච්‌.අයි.එස් (ඒඩ්ස්) මර්දන ඒකකය අවධාරණය කරයි.

එම ඒකකයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, නිසි ප්‍රතිකාර ලැබෙන අයෙකුට වෛරසය පාලනය කර තබා ගැනීමේ හැකියාව ඇති බවත්, එමඟින් නිරෝගී දරුවන් බිහි කර සාධාරණ පවුල් ජීවිතයක් ගත කිරීමටද හැකි බවත්ය.

ඔහු තවදුරටත් පැවසුවේ, අනාරක්ෂිත ලිංගික ක්‍රියාකාරකම්වලට හෝ මත්ද්‍රව්‍ය එන්නත් කිරීමේදී සම්බන්ධ වන පුද්ගලයන් තම රුධිර පරික්ෂාවන් සිදු කර ගැනීමේදී සත්‍ය තොරතුරු ලබා දිය යුතු බවයි. “සත්‍ය තොරතුරු ලබා දීමෙන් පමණක් වෛද්‍යවරුන්ට වෛරසය නිසි ලෙස හඳුනාගෙන ප්‍රතිකාර ආරම්භ කළ හැක,” යැයිද ඔහු කියා සිටියේය.

එහෙත් සමහරුන් පෞද්ගලික වෛද්‍ය සේවාවන් තුළ රුධිර පරීක්ෂාවන් කරවන අවස්ථාවලදී අසත්‍ය තොරතුරු ලබා දෙන බවත්, එම ක්‍රියාව ඉතා අවදානම් තත්ත්වයක් බවත් එම ඒකකය පවසයි.

එම ප්‍රකාශකයා තවදුරටත් අවධාරණය කළේ, “එච්‌අයිවී ආසාදිත පුද්ගලයන්ගේ අනන්‍යතාව කිසිවිටෙකත් තුන්වන පාර්ශ්වයකට හෙළි නොකෙරේ. ඔවුන්ගේ රහස්භාවය සුරක්ෂිත කරමින්ම ප්‍රතිකාර ලබා දේ” යන්නයි.

මේ වන විට ශ්‍රී ලංකාවේ එච්‌අයිවී ආසාදිත කාන්තාවන් හා පිරිමින් විශාල සංඛ්‍යාවක් නිසි පරිදි ප්‍රතිකාර ලබමින් නිරෝගී දරුවන් බිහි කර සාමාන්‍ය පවුල් ජීවිතයක් ගත කරමින් සිටින බවද ඒඩ්ස් මර්දන ඒකකය සදහන් කරයි.

Share.
Leave A Reply