මෙරට තාරුණ්‍යයට ගැලපෙන නව ජාතික තරුණ ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සමග එක්ව පියවර ගනිමින් සිටී. එම ප්‍රතිපත්තිය 2026 ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව අද (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා පැවසුවේ, මෙරට තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියට තාරුණ්‍යයේ නියෝජනය අවම මට්ටමක පවතින බවත්, එම තත්ත්වය වෙනස් කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවත් ය. අනාගතය සඳහා ගැලපෙන, පුළුල් හා නවීන තරුණ ප්‍රතිපත්තියක් සකස් කිරීමට අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බවද ඔහු සදහන් කළේය.

ජාතික තරුණ ප්‍රතිපත්තිය සකස් කිරීම වෙනුවෙන් පුරවැසි අදහස් හා යෝජනා ලබා ගැනීම නොවැම්බර් 20 දක්වා සිදු කරන බවත්, ඒ සඳහා QR කේතයක්, ෆේස්බුක් ගිණුමක්, වට්ස්ඇප් අංකයක්, ෆැක්ස් හා විද්‍යුත් තැපැල් ලිපිනයක් ප්‍රකාශයට පත් කර ඇති බවත් අමාත්‍යංශය දැනුම් දී ඇත.

තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා සඳහන් කළේ, මේ වන විට පවතින ජාතික තරුණ ප්‍රතිපත්තිය ප්‍රායෝගික නොවන බවත්, එහි පසුගාමී ලක්ෂණ හේතුවෙන් නව ප්‍රතිපත්තියක් සකස් කිරීම අත්‍යවශ්‍ය බවත්ය. නව ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ ක්‍රියාකාරී සැලැස්මක්ද සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ සහකාර ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය දයානාත් රණතුංග මහතාද මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ශ්‍රී ලංකාවේ නව ජාතික තරුණ ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා තාක්ෂණික සහයෝගය ලබාදෙන බව සඳහන් කළේය.

අවසාන වරට ජාතික තරුණ ප්‍රතිපත්තියක් පාර්ලිමේන්තුවේ සම්මත කරනු ලැබූයේ 2014 වසරේ බවත්, එත් දින සිට සමාජය විශාල වෙනස්කම් වලට ලක්ව ඇති බැවින් නව ප්‍රතිපත්තියක් අත්‍යවශ්‍ය බවත් ඔහු අවධාරණය කළේය.

මෙම මාධ්‍ය හමුවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අරුණ බණ්ඩාර මහතා ඇතුළු නියෝජිතයන් රැසක් සහභාගි වූහ.

Share.
Leave A Reply