ප්‍රවෘත්ති නිවේදනයයි. ප්‍රවෘත්ති කර්තෘ / වෙබ් කර්තෘ / ප්‍රවෘත්ති අධ්‍යක්ෂක මහජනතාවට සේවාවන් ලබා ගන්න අපේ රජය යටතේ තවදුරටත් ඇමතිවරුන් මන්ත්‍රිවරුන් පසුපස යා යුතු නැහැ – අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතා පවසයි. Know Your Neethi ( ඔබේ නීතිය හඳුනා ගන්න) තේමාව යටතේ මහජනතාවට නීති ආධාර ලබාදීමේ සහ නීතිය පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන බදුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ ( 01) ආරම්භ වු අතර, එහි දෙවන දින වැඩසටහනට අද (02) පෙරවරුවේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා එක්විය. මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යතුමා මෙසේද පැවසීය. මහජනතාවට යුක්තියට ප්‍රවේශවීමට ඇති අවස්ථා ලබාදීම සදහා ඔවුන්ට සාමාන්‍ය නීතිය සම්බන්ධයෙන් වු දැනුම අවබෝධය ලබා දිය යුතුයි. මුලික නීතිය සම්බන්ධයෙන් අවබෝධය නොමැතිවීම හේතුවෙන් තමන්ට පවතින ප්‍රශ්න ගෙන යා යුත්තේ කුමන ස්ථානයට යන්න දැනුම ඔවුන්ට නැහැ. මේ තත්ත්වය අවම කිරීම සදහා දැනුවත් කිරීමේ මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අතිශයින් වැදගත් වෙනවා. අධිකරණ අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් නීතිය සම්බන්ධව සාමාන්‍ය ජනතාවට අවබෝධය ලබාදීමේ වැඩසටහන් දිස්ත්‍රික් මට්ටමින් රට පුරා ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී කටයුතු කරනවා. ආර්ථික අපහසුතාවයන්, භාෂා පිළිබදව වු ගැටළු යුක්තියට ප්‍රවේශවීමට ඇති ප්‍රධාන බාධකයි. ඒවා නැති කළ යුතුයි. ඇතැම් අවස්ථාවල අපේ රටේ පොලීසියට , අධිකරණයට ජනතාවගෙන් අප්‍රසාදයට පත්වීමට නීතිය පිළිබදව සාමාන්‍ය ජනතාවට නිසි අවබෝධය නොමැතිවීමත් හේතුවෙනවා. මහජනතාවට සේවය ලබාදීම අපේ මුලික වගකීමක් බවට රාජ්‍ය සේවකයින් අවබෝධ කරගත යුතුයි. මේ වැඩසටහනේ මුලික අරමුණ වන්නේ නීතිය සම්බන්ධයෙන් වු අවබෝධය ජනතාවට ලබාදීමයි. රාජ්‍ය සේවකයින් වන අපගේ කාර්භාරය ජනතාවට සේවය කිරීම බව අවබෝධ කර ගත යුතුයි. ජනතාවට සේවා ලබා ගන්න අපේ රජය යටතේ තවදුරටත් ඇමතිවරුන් මන්ත්‍රිවරුන් පසුපස යන්න අවශ්‍ය වන්නේ නැහැ. මෙවැනි වැඩසටහන් අමාත්‍යාංශයට පමණක් තනිව කරන්න බැහැ. ඒ වෙනුවෙන් මහජනතාවගේ සහ රාජ්‍ය සේවකයින්ගේ සහාය අවශ්‍යයි. ජනතාවට පවතින ගැටළු විසදීම වෙනුවෙන් රාජ්‍ය සේවකයින් දේශපාලන නියෝජිතයින් එක්ව මෙවැනි වැඩසටහන් මාස තුනකට වරක්වත් සංවිධානය කළ යුතුයි. නව අගවිනිසුරුතුමා රාජකාරී ආරම්භ කරමින් අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම කඩිනමින් සිදු කළ යුතු බව සදහන් කළා. අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණයෙන් තොරව තවදුරටත් ඉදිරියට යන්න බැහැ. එය සිදු කළ යුතුමයි. නීතිය සියලු දෙනාටම එක සමාන විය යුතුයි. සාමාන්‍ය ජනතාවට පමණක් නොව ඇතැම් රාජ්‍ය සේවකයින්ට පවා මුලික නීතිය පිළිබදව වු දැනුම නොමැති විම විශාල ගැටළුවක් බවට පත්ව තිබෙනවා. මහජනතාවට තමන්ට කැමැති ආහාරයක් තමන් ප්‍රිය කරන කඩයකින් ලබාගැනීමේ හැකියාව පැවතිය ද තමන්ට කැමැති උසාවියකට නඩුවක් යොමු කිරීමට හැකියාවක් නැහැ. ක්ලීන් ශ්‍රී ලංකා තුළීන් පරිසරය පමණක් නොව මිනිසුන්ගේ හදවත ද පිරිසිදු කිරීම කළ යුතුයි බව අමාත්‍යතුමා සදහන් කළේය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නියෝජිත අෂුෂා කුබෝටා මහත්මිය ද මෙහිදී අදහස් පළ කළාය. නීති ආධාර ලබාදීමේ සහ නීතිය පිළිබදව දැනුවත් කිරීමේ කුටි නිරීක්ෂණය කිරීමට ද අධිකරණ අමාත්‍යතුමා ඇතුළු නිලධාරීන් එක් විය. බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි දිනිදු සමන් හෙන්නායක , බදුල්ල මහ නගර සභාවේ නගරාධිපති නන්දන හපුගොඩ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ, අයෙෂා ජිනසේන, බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන යන මහත්ම මහත්මීන්, රාජ්‍ය නිලධාරීන්, යුරෝපා සංගමය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), යුනිසෙෆ් (UNICEF) ශ්‍රී ලංකා ආයතන නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශය, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය, ජාතික භාෂා අධ්‍යාපන ආයතනය, භාෂා දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පුනරුත්ථාපන අධිකාරිය, වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය, සමථ මණ්ඩල කොමිෂන් සභාව, ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව, ණය සහනදායක මණ්ඩලය, ජාතික ළමා රක්ෂක අධිකාරිය, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල, විදේශ සේවා නියුක්ති කාර්යාංශය, වැවිලි සහ ජ්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, කම්කරු විනිශ්චය සභාව, පොලිස් කොමිසම, පොලිස් පරිගණක අපරාධ විමර්ශන ඒ්කකය, වතු වෘත්තීය සමිති, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, බදුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඇතුළු ආයතන විසින් නීති ආධාර ලබාදීමේ සහ නීතිය පිළිබදව දැනුවත් කිරීමේ කුටි ඉදිරිපත් කර තිබුණි. සයිබර් අපරාධ පිළිබද අවබෝධය, ඉඩම් පිළිබදව පවතින ගැටළු අධිකරණයට නොගොස් විසදා ගැනීම, කම්කරු ආරවුල් පිළිබදව දැනුවත් කරමින් රැකියා නීති ගැටළු විසදීම වෙනුවෙන් සාකච්ඡා මණ්ඩප, අන්තර් ක්‍රියාකාරී සංසදය විසින් සිංහල සහ දමිළ භාෂාවෙන් ඉදිරිපත් කරන ලද සංවාද නාට්‍ය, මෙහිදී පැවැත්විණි. නීතිය පිළිබඳව දැනුවත්භාවය වැඩි දියුණු කිරීම, නීතියේ සහාය ලබා ගැනීමට ඇති හැකියාව මෙහි ප්‍රධාන අරමුණ වන අතර, කාන්තාවන්, ආබාධ සහිත පුද්ගලයින්, සියලු ජන වාර්ගික කණ්ඩායම් මෙන්ම අවම පහසුකම් සහිත ජනතාව වෙනුවෙන් නීතිමය සේවා සැපයීම සඳහා මෙම වැඩසටහන තුළින් අපේක්ෂා කරනු ලබන අතර, යුරෝපා සංගමය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), යුනිසෙෆ් (UNICEF) ශ්‍රී ලංකා සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ යුක්තියට සහාය ව්‍යාපෘතියේ සහයෝගයෙන් යුතුව වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.

Share.
Leave A Reply