උසස් පෙළ විභාගවලට පෙනී සිටින පාසල් දරුවන්ගේ මානව හිමිකම් කඩකිරීමක්. පැමිණීම අඩු සිසුන්ට විභාගයට ඉඩ නොදීමෙන් සිසුන් රැසකට මෙවර උසස් පෙළ අහිමි වීමේ අවදානමක්……🤔🤔🤔🤔
සිසුන්ගේ පාසල් පැමිණීම ඉහළ නැංවීම සහ පාසල් කාලය තුළදී ගුරු භවතුන් විසින් මුදල් අය කරමින් පෞද්ගලික පන්තිවල ගැන්වීම වැළැක්වීම සඳහා නිකුත් කළ චක්‍රලේඛයක් හරහා 80%ක පැමිණීම නොමැති දරුවන්ට පාසල නියෝජනය කරමින් විභාගයට පෙනී සිටීමට ඉඩ නොදීමට ඇතැම් පාසල්වල විදුහල්පතිවරුන් කටයුතු කිරීම හේතුවෙන් මෙවර උසස් පෙළ විභාගය පෙනී සිටින දරුවන්ට විභාග අයිතිය අහිමි කරවීමේ සිදුවීම් ගණනාවක් දිවයිනේ පාසල් රැසකින් වාර්තා වේ.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2006 වසරේ නිකුත් කර ඇති 2006/45 දරන, සිසුන්ගේ පාසල් පැමිණීම ඉහළ නැංවීම සහ පාසල් කාලය තුළදී ගුරු භවතුන් විසින් මුදල් අය කරමින් පෞද්ගලික පන්තිවල ඉගැන්වීම වැළැක්වීම යන නමින් නිකුත් කර ඇති චක්‍රලේඛය පෙන්වමින් විදුහල්පතිවරු තම විද්‍යාලයන්හි පැමිණීම අඩු ඇතැම් උසස් පෙළ උරුවන්ට පාසලෙන් ඉවත්වී පෞද්ගලික අයැදුම්කරුවන් ලෙස විභාගයට ඉදිරිපත් වන්න යැයි බලපෑම් කරමින් සිටිති.
උසස් පෙළ විභාගයට පාසලෙන් පෙනී සිටීම සඳහා පැමිණීම 80%ක් තිබිය යුතු යැයි චක්‍රලේඛයේ සඳහන් වුවද එහි තව තැනක දක්වා ඇත්තේ එසේ නොමැති දරුවන්ට විදුහල්පති හා පාසල් කළමනාකරණ කමිටුව මගින් පිළිගන්නා කරුණු සහ වෛද්‍ය වාර්තා මත පදනම්ව විභාගයට වාඩිවීමට ඉඩ දිය හැකි බව ය.
පසුගිය කාලයේ රටේ පැවැති කොරෝනා සහ ආර්ථික අර්බුද හේතුවෙන් මෙම චක්‍රලේඛය කිසිසේත්ම සැලකීමට ලක් නොකළ අතර ඉන් පෙර සලකා බැලුවද දරුවන්ට විභාග අයිතිය අහිමි කිරීම සඳහා මෙම චක්‍රලේඛය භාවිත කළ බවට වාර්තා වී නැත. නමුත් මෙවර මෙම චක්‍රලේඛය දඩමීමා කරගනිමින් විදුහල්පතිවරුන් විසින් තම දරුවන්ගේ විභාග අයිතිය අහිමි කරමින් සිටින බවට මවුපියෝ චෝදනා කරති.
ගාල්ල අනුලා දේවී බාලිකා විද්‍යාලයේ සිසුවියන් කිහිපදෙනෙකුට 38%ක හෝ පැමිණීම නැතැයි පවසමින් පාසලෙන් අස්වී පෞද්ගලිකව විභාගයට ඉදිරිපත් වන්න යැයි විදුහල්පතිනිය බලපෑම් කර තිබිණි.
එම සිසුවියන් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළද ආයුර්වේද වෛද්‍ය සහතික පවා පිළිගැනීම පාසල් බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබිණි.
විද්‍යා විෂය උගන්වන ගුරුවරියක් කියා තිබුණේ, පැපොල රෝගය සම්බන්ධ වෛද්‍ය වාර්තා ද පිළිනොගන්නා බව ය. 38%කට වඩා අඩු පැමිණීමක් තිබූ දරුවන්ට පාසලෙන් අස්වීම් සහතික ලබාගන්න යැයි බලපෑම් කළ බැවින් තම දරුවන් පාසලෙන් ඉවත් කරවා ගැනීමට මවුපියන් කිහිප දෙනෙකු ම කටයුතු කර තිබිණි.
අප මේ පිළිබඳව විදුහල්පතිනි දේවිකා හපුතන්ත්‍රීගෙන් විමසූ විට ඇය කියා සිටියේ, පාසල් කළමනාකරණ කමිටුවේ තීරණය අනුව පැමිණීම අඩු දැරියන්ට පෞද්ගලික අයැදුම්කරුවන් ලෙස විභායට ඉදිරිපත් වන්නැයි දැනුම් දී ඇති බවත් ඒ අනුව දැරියන් කිහිපදෙනෙකුට අස්වීම් සහතික ලබා දී ඇති බවත් ය.
කෙසේ වුවද, එලෙස අස්වීම් සහතික ලබාදුන් දැරියන් සංඛ්‍යාව පැවසීමට ඇය අපොහොසත් වූවාය.
අනුලා දේවි බාලිකා විද්‍යාලයේ බලධාරීන් විසින් සිදුකළ එම ක්‍රියාව සම්බන්ධයෙන් ගාල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ශ්‍රීනි වාසනාගෙන් විමසූ විට ඇය කියා සිටියේ, දරුවන්ට අසාධාරණයක් සිදුවී ඇත්දැයි තමන් පෞද්ගලිකව මැදිහත් වී සොයා බලන බව ය.
පසුව අප ඇමතූ ඇය අස්වීම් සහතික ලබා නොදුන් පැමිණීම අඩු ශිෂ්‍යාවන්ට විභාගයට වාඩිවීමට අවස්ථාව ලබා දෙන ලෙස විදුහල්පතිනියට උපදෙස් දුන් බව කීවාය.
ඒ පිළිබඳව සොයා බැලූ විට දැනගන්නට ලැබුණේ 16 වන දා වන විට අස්වීම් සහතිකය ලබාගන්න යැයි දැනුම් දී තිබූ සිසුවියන්ට පාසල් අයැදුම්කරුවන් ලෙස විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලැබුණු බව ය.
කෙසේ වුවද එයින් අස්වීම් සහතිකය ලැබූ දරුවන්ට බලවත් අසාධාරණයක් සිදුවී ඇති බවට මව්පියෝ චෝදනා කරති.
ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් 28 දෙනෙකු එකම දිනකදී පාසලට කැඳවා ඔවුන්ට අස්වීම් සහතික ලබාදී තිබිණි.
මේ පිළිබඳ විමසීමට විදුහල්පති ප්‍රසන්න සෙනවිරත්න සම්බන්ධ කරගැනීමට අප උත්සාහ ගත්තද ඔහු කිසිදු ඇමතුමකට පිළිතුරු දුන්නේ නැත. එලෙස පාසලෙන් ඉවත්කර දැමූ දරුවකුගේ මව්‍පියෙකු අප සමග කියා සිටියේ, ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් යොමු කළ බව ය.
එමෙන් ම, තමන් මේ සම්බන්ධව ඉහළම නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව හෙතෙම කීවේය.
පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසකට ද එවැනිම අත්දැකීමකට මුහුණ දීමට සිදුව තිබිණි. විද්‍යාලයේ උසස් පෙළ විද්‍යා සහ ගණිත අංශයේ සිසුන්ගේ පැමිණීම ගැටලුවක් කරනොගත් විදුහල්පතිනිය වාණිජ හා තාක්ෂණික විෂයන් හදාරන තම දරුවන්ගේ පැමිණීම අඩුවීම ගැටලුවක් කරගෙන ඇතැයි මව්‍පියෝ චෝදනා කරති.
දැනටමත් විද්‍යාලයේ දරුවන් රැසකට විදුහල්පතිනිය විසින් බලහත්කාරයෙන් අස්වීම් සහතික ලබාදී ඇත. මව්‍පියන් චෝදනා කරන්නේ තම දරුවන්ට පෞද්ගලික අයැදුම්කරුවන් ලෙස ඉදිරිපත් වන්න යැයි පවසන විදුහල්පතිනිය “ඔයාලා අසමත් වුණොත් ඒක ඉස්කෝලෙ නමටත් හොඳ නෑ” යනුවෙන් පැවැසූ බවයි.
ශාන්ත ජෝන් විද්‍යාලයේ විදුහල්පතිනි යමුනා පෙරේරා මෙසේ කීවාය,
“මේක අපි පානදුර අවට පාසල්වල විදුහල්පතිවරු කිහිපදෙනෙක් කතා තරලා ගත්තු තීරණයක්. පැමිණීම අඩු ළමයින්ට පාසලෙන් විභාගය ලියන්න ඉඩ දෙන්න බැහැ.”
මේ පිළිබඳව අප අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු සම්බන්ධ අතිරේක ලේකම් රුක්මලී කාරියවසම්ගෙන් විමසූ විට ඇය කියා සිටියේ, මේ සම්බන්ධයෙන් තමාට පිළිතුරක් දිය නොහැකි බව ය. සිද්ධිය පිළිබඳව තමා ලේකම්වරයා සහ මාධ්‍ය අංශය දැනුවත් කරන බවද ඇය කීවාය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැවට දුරකතනයෙන් ඇමතූ විට ඔහුට එස්.එම්.එස්. පණිවිඩයක් තබන ලෙස කරන ලද දැනුම් දීමට අනුව අප ගැටලුව ඉදිරිපත් කළද එයට මේ දක්වා පිළිතුරක් ලැබුණේ නැත.
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්නගේ කාර්යාලයට ඇමතූ විට ඔහුගේ පෞද්ගලික සහකාර චාමර සඳරුවන් කියා සිටියේ, මේ පිළිබඳව වහාම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමුකර සුදුසු පියවරක් ගන්නා බව ය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ ශිරාල් ලක්තිලක කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියට අනුව සියලුම සිසුන්ට නීතිය සමානව ක්‍රියාත්මක විය යුතු බව ය. එමෙන් ම, සම අධ්‍යාපන අයිතිවාසිකමද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති බව හෙතෙම කීවේය.
ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය,
“චක්‍රලේඛයක් නිකුත් කරන විට එහි නිර්නායක පැහැදිලිව සටහන් විය යුතු යි. එය විදුහල්පතිවරුන්ට අවශ්‍ය විධියට පාසලෙන් පාසලට වෙනස් වෙන්න බැහැ. වරින් වර වෙනස් කරන්නත් බැහැ. ළමයින් පාසලෙන් අයින් කරන්නත් පැහැදිලි නිර්නායකයක් තිබිය යුතු යි. ඒ කිසිවක් නැතිව මේ විධියට වැඩ කරනවා නම් අසාධාරණයට ලක්වූ මවුපියන්ට මේ තීරණ ගත්ත අධ්‍යාපන බලධාරීන්ට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කරන්න පුළුවන්.”
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මෙසේ කීවේය,
“මෙවැනි සිද්ධීන් රට පුරා ම වාර්තා වෙලා තියෙනවා. මෙය දරුවන්ට කරන බලවත් අසාධාරණයක්. අධ්‍යාපන අමාත්‍යාංශය මේ ගැන වහා ම පියවරක් ගත යුතු යි. විභාගයක් සමත් වෙන්න වැඩි ම අවශ්‍යතාව තියෙන්නේ දරුවන්ට, ඔවුන්ට තමන් අධ්‍යාපනය ලබන පාසලෙන් විභාගයට ඉදිරිපත් වෙන්න අවස්ථාව දිය යුතු යි.”

සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති – රත්නපුර