දසවන පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා – ඇමරිකා එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය (මහාචාර්ය) අනිල් ජයන්ත මහතා තේරී පත්විය. ඒ දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – ඇමරිකා එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ පළමු රැස්වීම ගරු කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (24) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු අවස්ථාවේදීයි. මෙහිදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා එම සංගමයේ ලේකම්වරයා ලෙස තේරී පත් විය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය සහභාගී වූ අතර, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙහිදී අදහස් දැක්වූ ගරු කථානායක (ආචාර්ය) ජගත් වික්‍රමරත්න මහතා ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින දිගුකාලීන හා ශක්තිමත් ද්විපාර්ශවික සම්බන්ධතාවය ශ්‍රී ලංකාවේ වැදගත්ම විදේශ සබඳතාවක් ලෙස අවධාරණය කළේය. ප්රජාතන්ත්රවාදය ගරු කරන ජාතීන් ලෙස, දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා ගොඩනැගී ඇත්තේ ප්රජාතන්ත්රවාදී පාලන ක්රමයේ පරමාදර්ශ ශක්තිමත් කිරීම සඳහා වන කැපවීම් මත බවද ඔහු සඳහන් කළේය. එමෙන්ම ශ්‍රී ලංකාව – ඇමරිකා එක්සත් ජනපදය අතර ද්වීපාර්ශවික සබඳතා, දේශපාලන, ආර්ථික, ආරක්ෂක, බුද්ධි තොරතුරු හුවමාරුව, අධ්‍යාපනය සහ දෙරටේ පුරවැසියන් අතර සම්බන්ධතා ඇතුළු විවිධ ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය කරන බවද කථානායකවරයා පැවසුවේය. තවද ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) මගින් ඇමරිකා එක්සත් ජනපදය මෙරටට ලබා දෙන සහාය පිළිබඳවද කථානායකවරයා සිය කෘතඥතාව පළ කළේය.
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ ඇමරිකා එක්සත් ජනපදයේ තානාපතිනි ජුලී චන්ග් මහත්මිය, ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ද්විපාර්ශවික සම්බන්ධතාවය වසර 76 කට වැඩි කාලයක් පුරා දිවෙන දිගුකාලීන එකක් බව සඳහන් කළාය. “අපි හවුල්කරුවන් සහ මිතුරන් ලෙස එකට සිටිමු,”යි ඇය ප්‍රකාශ කළේ ජාතීන් දෙක අතර සම්බන්ධතාවයේ ශක්තිමත්බව අවධාරණය කරමිනි. දෙරට අතර සහයෝගීතාවය සහ අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය සඳහා වන කල් පවත්නා කැපවීම අවධාරණය කරමින් තිනාපතිනිය, අධ්‍යාපනය, ආපදා කළමනාකරණය, ආර්ථික සංවර්ධනය සහ සංස්කෘතික හුවමාරුව වැනි තීරණාත්මක ක්ෂේත්‍ර මෙම හවුල්කාරිත්වයට ඇතුළත් වන බව පැවසුවාය.
මෙහිදී අදහස් දැක්වූ සංගමයේ නව සභාපති කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය (මහාචාර්ය) අනිල් ජයන්ත මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සහ එමගින් විවිධ අංශවලින් ජාතීන් දෙක අතර සමීප සබඳතා වර්ධනය කිරීමට තමා කැපවන බවයි.
ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා – ඇමරිකා එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයක් පිහිටුවීම මගින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට සහ ව්‍යවස්ථාදායක සහයෝගීතාව වර්ධනය කිරීමට හේතු වන බව අවධාරණය කළේ.
The post ශ්‍රී ලංකා – ඇමරිකා එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන ගරු නියෝජ්‍ය අමාත්‍ය (මහාචාර්ය) අනිල් ජයන්ත මහතා තේරී පත්වෙයි appeared first on PFP News.