ජනතා අභිලාෂයන් ඉටුකරමින් වඩාත් ආදර්ශවත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීමට සියලු දෙනාගේම සහය අපේක්ෂා කරන බව නව වසරේ රාජකාරි ඇරඹීමේ අවස්ථාවට එක්වෙමින් කථානායක ගරු වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (01) පැවසීය.
නව මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවට පැමිණ ඇති පසුබිමක පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සිදුකළ මෙහෙවර ඇගයීමට ලක් කළ කථානායකවරයා ඉදිරියේදී ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් සුවිශේෂි අනන්‍යතාවක් සහිත පාර්ලිමේන්තුවක් බිහි කිරීම සඳහා කටයුතු කළ යුතු බවත් පෙන්වා දුන්නේය. ජනතා අපේක්ෂාවන් ඉටුකිරීමට පාර්ලිමේන්තුව සතු විශාල වගකීමක් ඇති බවත් පාර්ලිමේන්තුව් දැක්ම හා මෙහෙවර තුළ වටිනාකම් එකතු කර ගනිමින් විනිවිදබව, කාර්යක්ෂමතාව ආදි ගුණාංග වැඩි දියුණු කරමින් සිය මෙහෙයුම් ක්‍රියාත්මක කළ යුතු බවත් කථානායකවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය කාරක සභා සභාපති ගරු හේමාලි වීරසේකර මහත්මිය පැවසුවේ රටතුළ පරිවර්තන රාශියක් සිදුවන වසරක් ලෙස 2025 වසරේදී ජනතා අභිලාශයන් ඉටු කිරීමට සියලු දෙනා සතුව විශාල වගකීමක් ඇති බවයි. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය මේ දක්වා ඉටුකළ සේවයට ස්තුතිය පළ කළ වීරසේකර මහත්මිය අවධාරණය කළේ රටේ උත්තරීතරම ආයතනයක් වන පාර්ලිමේන්තුවේ සේවය කරන සියලු දෙනාගේම කාර්යභාරය අතිශය වැදගත් බවයි. නව වසර ආරම්භයේදී වඩාත් යහපත් ආකල්ප පෙරදැරිව වඩාත් කාර්යක්ෂම සේවයක් ලබා දෙමින් ලෝකය ඉදිරියේ ශ්‍රී ලාංකේය නාමය බැබලවීමට ඇය සුබ පැතුම් එක් කළාය.
2024 වසරේ පැවැත්වූ ජනාධිපතිවරණයකින් සහ මහමැතිවරණයකින් පසු දසවැනි පාර්ලිමේන්තුවට වඩාත් අභිමානවත් ආරම්භයක් ලබා දීමටත් මන්ත්‍රීවරුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමටත් කැපවූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මෙහිදී සිය ස්තූතිය පුද කර සිටියාය. නව වසර සඳහා සුබ පැතුම් එක්කරමින් මහලේකම්වරිය පැවසුවේ තරඟ විභාගවලින් සහ සම්මුඛ පරීක්ෂණවලින් වැඩිම ලකුණු ලබාගනිමින් පත්වූ දක්ෂ කාර්ය මණ්ඩලයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සතු බැවින් ඉදිරියේදීත් එම කැපවීම අපේක්ෂා කරන බවයි.
එසේම සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට සිය කටයුතු ඉටුකිරීම සඳහා ලබා දෙන දායකත්වයට අමතරව පාර්ලිමේන්තුවට පැමිණෙන විදෙස් දූත මණ්ඩල, ආගන්තුකයන් මෙන්ම දිනපතා පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන දහස් සංඛ්‍යාත පාසැල් සිසු දරුවන්ට උපරිම සේවය සැලසීම පිළිබඳව ද ඇය කාර්ය මණ්ඩලයට මෙන්ම අනුබද්ධ කාර්ය මණ්ඩලවලට ස්තූතිය පළ කළාය. එසේම මෙම කටයුතුවලදී නිසි ආරක්ෂාව සපයමින් දායකත්වය ලබා දුන් ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු සියලු ආරක්ෂක අංශවලට ද ඇය සිය කෘතවේදීත්වය පළ කර සිටියාය.
අනතුරුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වූ “Clean Sri Lanka” වැඩසටහන එළිදැක්වීමේ ජාතික උත්සවය සමගින් සජීවීව සම්බන්ධ වූ අතර එහිදී “Clean Sri Lanka” වැඩපිළිවෙලට අදාළව පුරවැසි ප්‍රතිඥාව / දිවුරුම ලබාදීම සිදුවිය.
පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න, සහකාර මහලේකම් හංස අබේරත්න යන මහත්වරුද, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු පාර්ලිමේන්තු සහ අනුබද්ධ කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
The post ජනතා අභිලාෂයන් ඉටුකරමින් වඩාත් ආදර්ශවත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීමට සියලු දෙනාගේම සහය අපේක්ෂා කරනවා – නව වසරේ රාජකාරි ඇරඹීමේ අවස්ථාවට එක්වෙමින් කථානායක ගරු වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසයි appeared first on PFP News.