අද එනම් විස්සයි විසි හතරේ අප්‍රේල් මස 24 මුළු ලෝකයේම අවධානය ශ්‍රී ලංකාවෙත යොමුවන දවසකි .ඒ ඉරාන ජනාධිපති ඉබ්රාහිම් රයිසි ගේ ලංකාගමනය නිසාය.
මුළු මැද පෙරදිග කලාපයම පමණක් නොව ලොවම යුද බියෙන් ඇලලී ඇති මොහොතක ඉබ්රාහිම් රයිසි ජනාධිපතිවරයාගේ ලංකා ගමන සිදුවීම මුථ ලෝකයේම අවධානය අප වෙත දිනාගන්නට සමත් වී ඇත .
2010 වසරේදී ආරම්භ වු උමාඔය බහු කාර්ය යෝජනා ක්‍රමය සඳහා වන සමස්ත වියදමෙන් දායකත්වය සපයන ලද්දේ ඉරාන රජය මඟිනි. ඉරාන රාජ්‍ය නායකයා ලෙස පැමිණි ඉබ්රාහිම් රයිසි ජනාධිපතිවරයා අතින් උමා ඔය විවෘත වන්නේ ඒ නිසාය .
පිදුරුතලාගලින් ආරම්භවන උමාඔය ජල විදුලිය නිපදවීම සඳහාත්, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයන්ගේ වගා බිම් සශ්‍රීක කිරීම සඳහා යොදා ගැනීම සදහාත් ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියකි.
අදියර දෙකක් යටතේ මෙගාවොට් 120ක් ජාතික විදුලි බල පද්ධතියට එක්කිරීමත්,ගොවි බිම් අක්කර දහස් ගණනක් සඳහා අවශ්‍ය ජලයත් සැපයීමත්, බණ්ඩාරවෙල ඇතුළු නාගරික ජන ප්‍රජාවගේ පානීය ජල අවශ්‍යතාවයන් සපුරාලීමත් මේ ව්‍යාපෘතියේ අරමුණ විය.
“හැත්තෑ හය වසරක සාපය” නාටකය වේදිකාවේ දිග හරින සියයට තුනේ බලවේගය අද දින විවෘත වන උමාඔය ව්‍යාපාරයට එරෙහිව ගෙනගිය මාධ්‍ය සංදර්ශනයේ නට්ටාවශේෂ අදත් youtube නාලිකාවේ අතරින් පතරින් සොයා ගත හැක.
ගාලුමුවදොර අද්දර ඉදි වූ “පෝර්ට් සිටි”යට අඩපාලි කියූ සීයට තුන, අධිවේගී මාර්ගවලට ආඩපාලි කියූ සීයට තුන, ෂැංග්‍රිල්ලා, වන් ගෝල්ෆේස් බිල්ඩිම් පේලියට අලුතෙන් එක්වන ICT හෝටලයත් හෙට අනිද්දා විවෘත වන විට දත කට පූට්ටුව දඟලනවා බලා ගත හැක .
“පළාත් සභා නිසා රට බෙදේ” කියු සීයට තුන පලාත් සභාවට තරග කරන විට මන්ත්රීකම් ලබන විට, ඒ වරප්‍රසාද භුක්ති විඳින විට පළාත් සභා හොදය.
මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් එපා කියති. ලැබෙන පර්මීට් රහසින්ම විකුණති. මන්ත්‍රී විශ්‍රාම වැටුප එපා කියති. ඒ ගැන සැරටම කතාද පවත්වති. සමන්ත විද්‍යා රත්න, වසන්ත සමරසිංහලා පමණක් නොව ජනහිතකාමී ලාල් කාන්තදලාද විශ්‍රාම වැටුපෙන් බුදිති.
සියල්ලටම විරුද්ධ වීම සීයට තුනේ තියරියයි. සීයට තුනට සහාය දෙන්නන් ද සියල්ලටම විරුද්ධ සියල්ල අරහං පොරවල්ය .වෙනත් විදියකට කියනවා නම් එක මිටට- එක අතට ඒ මේ අතට රට හැමතැනම තියෙන රැස්වීම් වලට එන යන අය මුළු ගමේම එපා කරපු ගැහැනුන්ය. මිනිසුන්ය.
පන්සලට ගියත්, පල්ලියට ගියත්, පාසලට ගියත් ඔවුන් ඇති කරන්නේ ප්රශ්නය. නොහොඳ මිසක් කිසිවෙකුගේ හොඳක් කියන්නේද, හොඳක් දකින්නේද නම් නැත. ගමක අණවිනද , කොඩිවිනද, පෙත්සම්ද ,කැලෑ පත්තර ද ගසන්නෙකු හෝ ගසන්නන් වේ නම් ඔවුන් සියල්ලම සියයට තුනටම අයිතිය .
මේ සීයට තුනේ බලවේගයේ බදුල්ලේ නායකයා “සයන්ස් රත්න”ය. මොහු කලක් පළාත් සභාවේද, ටික කලක් පරිවාසයේ නියෝජ්‍ය ඇමතිකමක් ද දරමින් පාර්ලිමේන්තු භෝජනාගාරයේ ආහාරය තලු මර මර වැළඳුවෙකි.
මේ පුද්ගලයාගේ නායකත්වයෙන් බදුල්ල, බණ්ඩාරවෙල නගරයන් පාදක කරගෙන ගෙන ගිය උද්ඝෝෂණ පෙරිය රාජාගේ තුන් හුලස් මාධ්‍ය හරහා රස කර කර මුළු රටට පෙන්නුවා අපට මතකය.
ගෙවල් ගිලා බසින හැටි, ගෙවල් ඉරි තලන හැටි, බදුල්ලම ගිලා බසින හැටි මේ “සයන්ස් රත්න “අමුතු තාලේ වාග් විලාසයෙන් කියූ හැටි තාමත් දෝංකාර දේ .
ජල විදුලි බලාගාරයක් හරහා මෙගාවොට් එකසිය විස්සක් ජාතික විදුලි පද්ධතියට එක්වන විට වැසී යන්නේ ඩීසල් බලාගාරයන්ය.
ඩීසල් බලාගාරවල නෝනලා අධ්‍යක්ෂකවරුන්ය. මහත්තුරු වැඩකරන්නේ විදුලි බල මණ්ඩලයේ ය.
විදුලි බල මණ්ඩලයත් , සීයට තුනත් හරියට බඩයි- බුරියයි වාගේය .
විදුලි බල මණ්ඩලයම නටවන්නේ සීයට තුනේ වෘත්තීය සමිති ගොබිලෙකි. ජාතියේ වාසනාවට උන්නැහේ විශ්‍රාම ගොස් ඇතැයි දැනගන්නට ඇත. කොහොම වුණත් උමාඔය වහන්නට ඩීසල් විදුලි බලාගාරවලින් සල්ලි ගත්තාදැයි කියන්නට දන්නේ නැත .
ලංකාවේ ළමයි පිටරට යවන ඒජන්තවරු සිටිති. ඒ උසස් අධ්‍යාපනයට ළමයි රට පටවා සල්ලි හොයන සෙට් එකය. මෙහෙම ඒජන්ජන්ට්ලාගෙන් සල්ලි අරන් ලංකාවට එන පිටරට විශ්ව විද්‍යාල හරවා යවන්නට රතු මල්ලිලා සල්ලි ගන්නවා ටෙලි නාට්‍යයක පෙන්වූයේ ළඟදීය .
ඇත්තටම එය ටෙලිනාට්‍යයක්ද ,නැතිනම් ජවිපෙන් වෙන් වූ අයෙකු නිපදවූ සත්‍යය කතාවක් දැයි කියන්නට දන්නේද නැත.
පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරන විට විකුණනවා යැයි කියූ ජවිපෙ නායකයන්ගේ සළු පට උණා ඔලුවේ එතු ඉන්දියාවේ මෝඩි අගමැතිවරයාට අපගේ ප්‍රශංසාව හිමිවේ.අදානිලා, අම්බානිලා සමඟ ඉඳගෙන අමුල් සමාගමෙන් කිරි බී පැමිණි විජිත හේරත් කියන්නේ විනිවිදභාවයෙන් පුද්ගලීකරණය කිරීමට තමන් අකමැති නැහැ කියලාය .
සාක්කුව තරවන විට යාප්පුවෙන් පීල්ල මාරු කරන එකම අවස්ථාව මෙය පමණක් නොවන අතර කන්න ඕනෑ විට කබරගොයා තලගොයා කරගන්නට සීයට තුන සීයට තුනද, ඔවුන්ගේ නායකයන්ද දක්ෂය .
1977 දී ජේ. ආර්.බලයට ගේන්නටද, 1988දී ප්‍රේමදාසටද, 1994 දී චන්ද්‍රිකාටද, 2005 දී මහින්දටද 2010 දී ෆොන්සේකාටද 2015 මෛත්‍රිටද සහාය දෙන දේශපාලනය හරහා පිරුනේ ජවිපෙ බැංකු ගිණුමය. සාමාජිකයන් කෙසේ වෙතත් නායකයන්ගේ පුද්ගලික බැංකු ගිණුම්ය.
කොණ්ඩය කපන්නට ගිය විට බාබර් ජයශාන්ත අයියා කොණ්ඩයද කපා සාක්කුවට ගානක් දානවා කිව්වේ හඳුන්නෙත්තිය. කලිසමේ බෙල්ට් එක කැඩුණු විට ළඟ සිටි එකෙකුගේ බෙල්ට් එක අරන් තම කලිසම වටා ඔතා ගත්තා යැයි කිව්වෙ මහ ලේකම් ටිල්වින්ය. මගුල් ගෙදරකට ගියවිට මනමාලයා ද මණමාලියද එක්ව තමන්ට ලැබෙන ලියුම් කවර කඩා ලැබුණු තෑගී මුදලින් කොටසක් ලියුම් කවරයක දමා සාක්කුවට ඔබන බව කිව්වේ මතකය නිවැරද නම් ලාල්කාන්තය.
මේවා හතර බීරි කතාය. එහෙම කොන්ඩේ කපන බාබර්ලා නැත. එහෙම සල්ලි දෙන මනාල ජෝඩු ලංකාවේ නම් ඉන්නවා යැයි හිතන්නටවත් බැරිය. මේවා බයිලා බව දැන දැනත් මෙහෙම බයිලා කියන්නේ ජනතාව අන්දන්නටය.
රට සවාරිය යන බ්‍රෑන්ඩඩ් ඇඳුම් අඳින ලක්ෂරී ජීවිත නඩත්තු කරන දේශපාලන ව්‍යාපාරයකට මෙලෙස මුදල් ලැබෙන බළල් අත කවුදැයි කියන්නට කිසිවෙකු දන්නේ නැත .
නොපැවැත් වූ පළාත් පාලන මැතිවරණ ව්‍යාපාරයේ වියදම බිලියන ගණනකි. එක මිටට එක අතට හතරවටට බස් පුරවා ගෙන සිදු කරන රැස්වීමක වියදම මිලියන ගණනකි. ෆේස්බුක් කුලී හේවායන්ගේ සංඛ්‍යාව 600 ඉක්මවති. ඔවුන්ගේ නඩත්තුව මසකට කෝටි ගණනකි.
ජය ශාන්ත අයියා කොන්ඩේ කපා පක්ෂයට දෙන මුදලින් මේවා කළ නොහැක. දැන් දැන් හන්දි ගානේ කැට කැට හොල්ලන් නේද නැත. ගෙවල් ගානේ ඇවිත් “නියමුවා” පත්තරේ විකුණන්නේද නැත .
පොහොට්ටුවට, අලියාට, ටෙලිෆෝනයට, පමණක් නොව ඩයස්පෝරාවෙන් සල්ලි ලැබෙන ටීඑන්ඒ එකටවත් අනුර කුමාරගේ සල්ලි සමඟ හැප්පෙන්නට බැරිය.ඒ තරමටම සීනුවද , මාලිමාවද පොහොසත්ය.
මේ සල්ලි කොහෙන්ද ? මේ පිළිබඳව ජනතාව ප්‍රශ්න කලයුතු වන්නාසේම ආරක්ෂක අංශද විමසිලිමත් විය යුතුය. පාස්කු ප්‍රහාරයට අත දිගහැර වියදම් කළ පුද්ගලයා ජවිපේ ජාතික ලැයිස්තුවේ අපේක්ෂකයෙක් බව ප්‍රහාරයේ මහ මොළකරු සොයන කාදිනල් හිමියන් ප්රමුඛ කතෝලික සභාවටත් අමතකය.
නැවතත් උමාඔය දෙසට හැරෙමු. ජාතික විදුලි බල පද්ධතියට මේගා වෝට් එකසිය විස්සක්, බණ්ඩාරවෙලකට නගරයට පිරිසිදු පානීය ජලයත්, හම්බන්තොට -මොණරාගල දිස්ත්‍රික්කයන්හි වගාබිම් අක්කර දහස් ගණනක වගාවට අවශ්‍ය ජලයත් දායාද කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද උමාඔය ව්‍යාපාරයට එරෙහිව ජනතාව කුලප්පු කරමින් මේ දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රමය කඩාකප්පල් කරන්නට කටයුතු කලේ පෙරකළ ජවිපේ නමින් හැඳින්වූ වර්තමාන මාලිමාවේ බදුල්ලේ නායකයා ලෙස ක්‍රියා කරන කටකාර” සයන්ස් රත්න” ය.
උමා ඔය බහු කාර්ය යෝජනා ක්රමයේ සුවිශේෂත්වය වන්නේ පොළොව යටින් ගමන් ගන්නා උමං මාර්ග හරහා ජලය ගලා යෑමට සැලැස්වීම පමණක් නොව විදුලිය නිපදවන විදුලි බලාගාරය පවා භූගතව හෙවත් පොළොව යටින් නිර්මාණය වීමය.
මේ භූගත උමං මාර්ග හරහා ජලය ගමන් ගන්නා විට බණ්ඩාරවල නගරය ම ගිලා බසින බව කියමින් උද්ඝෝෂණ කලේද, පෙළපාලි ගියේද, සම්මන්ත්රණ පැවැත්වුයේද සමන්ත “සයන්ස් රත්න”ය .
බොරු බේගල් ඇද දමමින් ජනතාව මුලා කරමින් උමා ඔයට එරෙහිව ජනතාව උසිගැන්වූ බදුල්ලේ “සයන්ස් රත්නගේ “අරමුණ කුමක්දැයි ජනතාව තේරුම් ගත්තේ 2018 පළාත් පාලන මැතිවරණයේදීය.
බණ්ඩාරවෙල නගර සභාවට සයන්ස් රත්නගේ කණ්ඩායම තරග කළේ සීනුවෙන් හෝ මාලිමාවෙන් නොව
“ටැප්” එකෙන් නොහොත් “කරාමේ” සලකූණෙනි.
සයන්ස් රත්නගේ දේශපාලන අරමුණ බණ්ඩාරවෙල ජනතාව තේරුම් ගත්තේය. සයන්ස් රත්නගේ කණ්ඩායම අන්ත පරාජයට පත්විය එකදු නාගරික කොට්ඨාසයක් හෝ දිනාගත නොහැකි විය. සයන්ස් රත්නගේ “කරාමයට” බණ්ඩාරවල ජනතාව ලබා දුන් පරාජයත් සමග උමාඔය විරෝධී සටනට “විරාමය” තියන්නට තට්ටම් බිම ඇනගත් සයන්ස් රත්නට සිදු විය.
බදුල්ලේ සයන්ස් රත්නගේ ජවනිකාව සීයට තුන අද මුළු රට පුරාම රඟ දක්වති. නිත්‍යානුකූලව පැවතිය යුතු ජනාධිපතිවරණයට හරියටම මාස පහක්වත් නැත .
“කරාමයට” විරාමය දුන් බණ්ඩාරවල ජනතාව සේම “මාලිමාවට” ද පරාජය ලබා දෙන්නට රටම සැරසී සිටින්නේ 1964 සිට රටට වින කළ දේශද්‍රෝහී නඩයේ කෙරුවාව බුද්ධිමත් ජන්දදායකයන් හොදින් දන්නා නිසාය .
උමා ඔය ව්‍යාපාරය ගොඩනැගීමේ අරමුණ සඵලවී ඌව – වෙල්ලස්සට, හම්බන්තොට පමණක් නොව ශ්‍රී ලංකාදීපයට සෞභාග්‍ය උදාවේවා යයි පතමි. !
සුගීගේ සටහන මෙලෙස ලිව්වේ හඬන්නට, වැලපෙන්නට මෙන්ම ලාමකව සිනාසෙන්නට ද නොව හොඳට හිතන්නටය.
ඔබ සැමට චිරං ජයතු !
මම සුගත් හේවාපතිරණ
(මෙය අප්‍රේල් 24 දිනමිණ පුවත්පතේ පලවූ සුගීගේ සටහන තීරු ලිපියෙන් උපුටා ගන්නා ලදි)